Saturday, November 02, 2024
Follow Us
චීන පොහොර සමාගමේ නියෝජිතයින් ලංකාවට එයි. මහින්දානන්ද, ශෂීන්ද්‍ර ඇමතිවරුන් හමුවෙයි

ප්‍රශ්නගත කාබනික පොහොර තොගය මෙරටට ගෙන්වීමේ කොන්ත්‍රාතුව හිමිකර ගෙන සිටින චින්දාඕ බයෝටෙක් ගෲප් චීන සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරිනිය ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊයේ (08) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔවුන් මෙරට චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ද සමග පැමිණ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවට රජයේ පොහොර සමාගම්වල සභාපතිවරුන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී වී ඇති බව සඳහන්.

සාකච්ඡාව අවසානයේදී චීන නියෝජිත පිරිස මාධ්‍ය වෙත කරුණු දැක්වීමෙන් වැළකෙමින් පිටව ගිය අතර ඔවුන් පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අදාළ විමසීම කරන ලෙසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සාකච්ඡාවෙන් අනතුරුව පැවසුවේ "චීන තානාපතිතුමා මගෙ අමාත්‍යාංශයට එනවයි කිව්වාම මම එතුමාට එන්න දුන්නා. අපි එතුමාට අවස්ථාව දුන්නා එතුමාත් එක්ක සුහද සාකච්ඡාවක් කරන්න. පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ මතය අපි එතුමාට පැහැදිලි කළා. අධිකරණයේ මේ පිළිබඳ නඩුවක් තියෙනවා, ඒ නඩුව තියෙන නිසා මට මේ පිළිබඳ මගේ මතයක් ප්‍රකාශ කරන්න බෑ" යනුවෙනි.

(LNW)