මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ෂෙන්හොන් (Qi Zhenhong) මහතා හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රසාදය පළ කළේය.
ඒ,ඊයේ (27) අරලියගහ මන්දිරයේදී දෙදෙනා අතර පැවති හමුවේදීය.
කොවිඩ් වසංගතය පාලනය කිරීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ද චීන රජයට සිය ප්‍රණාමය හිමිවන බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබ පැතුම් එක්කළ තානාපති චී.ෂෙන්හොන් මහතා ඒ සඳහා සිය රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බවට විශ්වාසය පළ කරන ලදී.
කොවිඩ් වසංගත අභියෝගය ජයගැනීම සඳහා ආරම්භයේ පටන්ම චීනය වෛද්‍ය සැපයුම්,එන්නත් සහ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිනමා ඇති බවත්
චීන මහජන බැංකුව (PBOC) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර චීන යුවාන් බිලියන 10 ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැඟීම් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට උපකාරී වනු ඇති බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සහ රබර් සහල් ගිවිසුම අත්සන් කර වසර 70ක් සපිරීම සනිටුහන් කරන 2022 වසර ශ්‍රී ලංකා-චීන ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත් වසරක් වනු ඇති බවටද චීන තානාපතිවරයා විශ්වාසය පළ කළේය.
(LNW)