ස්වීඩනයේ 16 වැනි කාල් ගුස්ටාෆ් රජතුමා 2021 ඔක්තෝබර් 12 වැනි අඟහරුවාදා දින ස්ටොක්හෝම් හි රාජකීය මාළිගාවෙ හිදී පැවති ගෞරවනීය නිල උත්සවයක දී ශ්‍රී ලංකා තානාපති දර්ශන එම්. පෙරේරා මැතිතුමා පිළිගත්තේය.
ඓතිහාසික අධිරාජිනී ලොවිසා උල්රිකා රැස්වීම් ශාලාවේ දී තානාපතිවරයා ස්වීඩන් රජතුමා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබ පැතුම් පිරිනැමීය. ස්වීඩනය තුළ සාර්ථක ධුර කාලයක් ගත කිරීම සඳහා සුභ පැතුම් ලද තානාපතිවරයා දෙරට අතර දිගුකාලීන සබඳතා ගොඩ නැගීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම නැවත අවධාරණය කළේය. අඟහරුවාදා (12) වැනි දින පැවති මෙම සාකච්ඡාවේ දී ද්විපාර්ශ්වික සබඳතා, රාජකීය සංචාර, ගෝලීය සෞඛ්‍ය වසංගතය හා එය මර්දනය කිරීම සඳහා දරන ප්රයත්න, සංස්කෘතිය, ඉතිහාසය සහ උරුමය, සංචාරක ව්‍යාපාරය, නිර්මාණාත්මක කර්මාන්ත, පරිසරය, ලංකා තේ, සාගර සම්පත් යනාදිය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුවිය.
සාමාන්‍ය වාතාවරණ යටතේ ස්වීඩනය විසින් විදේශීය නියෝජිතයෙකුට පිරිනැමෙන උත්සව සුවිශේෂී වන අතර එම උත්සව සියවස් ගණනාවක් පැරණි සම්ප්රදායකින් සමන්විත වේ. එහෙත් කොවිඩ්-19 වසංගතය ආශ්රිත මාර්ගෝපදේශ හේතුවෙන් ස්වීඩන සම්ප්රදායේ ඇතැම් අංග වර්තමාන තත්ත්වය සමඟ අනුකූල කර ගනිමින් ගෞරවණීය හමු සඳහා වූ උත්සව කුඩා පරිමාණයෙන් පවත්වනු ලැබේ. 12 වැනි දින දින පැවති ගෞරවණීය හමුව ආශ්රිත චාරිත්‍ර සඳහා මාෂල්වරු සහ රජමාළිගයේ පළමු මාෂල්වරයා විසින් ආචාර කොට පිළිගැනීම මෙන්ම රාජකීය ධජ ආචාරය යනාදිය ද ඇතුළත් විය.
එවකට පැවති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව විශේෂ විධිවිධාන මඟින් 2021 මාර්තු 22 වැනි දින අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව තානාපති පෙරේරා මැතිතුමාට මෙම නිල හමුවට සහභාගී වීම සඳහා අවස්ථාව හිමි විය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ස්ටොක්හෝම්
2021 ඔක්තෝබර් 14 වැනි දින