ඇෆ්ඝනිස්ථානයේ පවතින සිවිල් යුද්ධයේදි තලේබාන් සංවිධානයේ වේගවත් ජයග්‍රහණය බොහෝදෙනා මවිතයට පත්කිරීමට හේතු වුණා.
2021 අගෝස්තු මාසය ආරම්භ වනවිටත් ඔවුන් විසින් කිසිදු පළාතක අගනුවර තම පාලනයට නතු කරගෙන තිබුණේ නැහැ. නමුත් අගෝස්තු 15 වනදා වනවිට ඔවුන් සමස්ථ රටේම බලය තහවුරු කරගන්නා තැනට පැමිණියා. මෙය ඉතාම වේගවත් ලෙස සිදුවූවක්. එහෙයින්ම ඇතැමුන් විසින් එම තලේබාන් ප්‍රහාරය හඳුන්වාදෙන ලද්දේ “තලේබාන් බ්ලිට්ස්ක්‍රීග්” යනුවෙන්.
ඇමරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වන පසුබිමෙහි මතුවූ තත්ත්වයන් පිළිබඳ අප පසුගිය ජූනි මාසයේ අවසන් භාගයේදී කරුණු ගෙනහැර දැක්වූවා. ඒ ලිපිය කියවලාම ආවොත් අපේ කතාබහට පහසුවක් වේවි.
බටහිර මාධ්‍ය නොදුටු තලේබාන් නැගිටීම
තලේබාන් සංවිධානයේ නැවත නැගිටීම කලක් තිස්සේ සිදුවූවක්. 2001 දී ඔවුන් පරාජය වී පසුබැස ගියත් ඔවුන්ගේ ප්‍රධාන නායකත්වය හෝ සාමාජිකත්වය හෝ දැවැන්ත විනාශයකට භාජනය වූයේ නැහැ. ඉන් වැඩි පිරිසක් පකිස්ථානය දෙසට පළගොස් ප්‍රතිසංවිධානය වීමයි සිදුවූයේ. වසර කිහිපයකින් පසු ඔවුන් ආපසු ඇෆ්ඝනිස්ථානයේ ක්‍රියාකාරී වනවිට එය බටහිර මාධ්‍යවලට ද එකවර විශාල ප්‍රවෘත්තියක් වූයේ නැහැ.
2021 වසරේ තලේබාන් ජයග්‍රහණය ද එයාකාරයෙන්ම මුලින් බටහිර මාධ්‍යවලට පුවතක් වූයේ නැහැ. තලේබාන්වරුන් ඇෆ්ඝන් ප්‍රදේශයන්හි බලය තහවුරු කරගනිමින් සිටින බව තලේබාන් පාක්ෂික සමාජ මාධ්‍ය සහ ඇෆ්ඝන් මාධ්‍යවල පුවත් පළවන්නට පටන්ගෙන සති කිහිපයක් ගතවනතුරු එය පිළිබඳ ලෝක මාධ්‍ය කතාකළේ නැහැ. එහෙයින් ජූනි මාසයේ අගභාගය වනවිට එවන් පුවත් වාර්තා වෙද්දී බොහෝදෙනාට එය අදහාගැනීම තරමක් අපහසු වුණා. කෙසේ වෙතත් ඒ වනවිට ද තලේබාන් පාර්ශවය සැලකිය යුතු දුරක් පැමිණ තිබුණා.
මුල් කාලීනව තලේබාන්වරුන් බලය තහවුරු කරගත්තේ පිටිසරබද ප්‍රදේශවලයි. එහිදී බොහෝවිට සිදුවූයේ මාස ගණන් හරිහැටි වැටුප් නොලද සාමාන්‍ය අෆ්ඝන් සෙබළුන් තලේබන්වරුන්ට එකතු වීම හෝ යටත් වීමයි. පැවති ඇෆ්ඝන් පාලනය තුළ දූෂණය ඉහවහාගොස් තිබුණා. බොහෝ සාමාන්‍ය ඇෆ්ඝන් සෙබළුන්ට හරිහැටි වැටුප් ගෙවීම සිදුවූයේ නැහැ. ඔවුන්ගේ උසස් නිලධාරීන් එම වැටුප් ගසාකෑම ඊට හේතුව වුණා. මෙහි ප්‍රතිඵලය වූයේ ඔවුන් රජය කෙරේ කළකිරී සිටීමයි. එය තලේබාන් සංවිධානයට විශාල සහයක් වුණා.
අවසාන සතිය වනතුරුම ඇෆ්ඝන් පළාත් 34 ම අගනුවරවල් එකක්වත් තලේබාන් පාලනයට නතු වූයේ නැහැ. නමුත් ඔවුන් පළාත් 34 න් වැඩි ප්‍රමාණයක ප්‍රධාන නගරවලින් ඔබ්බෙහි ගම්බද ප්‍රදේශ පාලනය කළා.
ස්මාර්ට් උපක්‍රම
මේ අතර ඔවුන් කළ තවත් උපක්‍රමිකව ඉතා දක්ෂ “ස්මාර්ට්” ක්‍රියාවක් තිබුණා. එය තමයි තමන් වෙත වැඩිම විරෝධයක් එල්ල වියහැකි යයි අනුමාන කෙරෙන ප්‍රදේශවල බලය හැකි ඉක්මණින්ම අල්ලාගැනීමයි. තලේබාන්වරුන් කිසිදු දිනෙක පාලනය නොකළ බදක්ෂාන් වැනි පළාත් අල්ලාගැනීම එහිදී අපට දකින්නට ලැබුණා. ඒවායේ අගනුවරවල් සහ අනෙක් ප්‍රධාන නගර ඇතැම්විට රජයේ පාලනය යටතේ දිගටම තිබුණද පොදුවේ ඒ පළාත් තලේබාන් අතට පත්වුණා.
තලේබාන්වරුන්ගේ අනෙක් උපක්‍රමයක් වූයේ රටෙන් පිටවන ප්‍රධාන දේශසීමා මුරපොළවල් අල්ලාගැනීම කෙරේ වැඩි අවධානයක් යොමු කිරීමයි. එමගින් ඔවුන් ගොඩබිම් මාර්ගයෙන් රට තුළට අවශ්‍ය ද්‍රව්‍ය එන මාර්ග වසා දමන්නට සමත් වුණා. ඒ අනුව ගුවනින් හැර ඇෆ්ඝනිස්ථානයෙන් පිටවීම හෝ ඊට ඇතුල්වීම හෝ පහසු වූයේ නැහැ.
ඇෆ්ඝන් හමුදාවන් හි ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් දකින්නට පුළුවන්. එක් පිරිසක් ඇෆ්ඝන් කමාන්ඩෝවරුන් වන අතර අනෙක් පිරිස සාමාන්‍ය හමුදා සේනාංකයි. සංඛ්‍යාත්‍මකව ඇෆ්ඝන් හමුදාව විශාල වූ බව සැබෑවක්. නමුත් එහි සාමාන්‍ය සෙබළුන් සැලකිය යුතු පිරිසක් සටන් නොකර යටත් වුණා. නැත්නම් තලේබාන්වරුන් හා එකතු වුණා. ඒ අනුව සටනේ බර කමාන්ඩෝවරුන්ට සහ තලේබාන් විරෝධී මිලීෂියා කණ්ඩායම් වෙත බාර වුණා.
පළාත් එකිනෙක වැටීම
නමුත් සතියක් පමණ ඇතුලත ඇෆ්ඝන් පළාත් සියල්ලකම අගනුවරවල් තලේබාන්වරුන් අතට පත්වීම තරමක් අදහාගත නොහැකි කරුණක්. එහිදී සිදුවූ කාරණය මේ වෙද්දී බොහොම පැහැදිලියි. ඇතැම් පළාත්වල ආණ්ඩුකාරවරු එම පළාත් පවරා දුන්නේ සටනක් නොමැතිවයි. මෙයින් අඩුම තරමේ කිසියම් කොටසක් කලින් පටන්ම තලේබාන්වරුන් සමග යම් එකඟතාවයක් සහිතව සිටින්නට ඇති බව සැක කරන්නට පුළුවන්. ඇෆ්ඝන් දේශපාලනය යනු කිසි දිනෙක, කිසි කලෙක එකතැන තිබුණක් නොවේ. එහි සදාකාලික සතුරන් සිටින නමුත් බොහෝදෙනෙක් සදාකාලික මිතුරන් හෝ සතුරන් හෝ නොවෙයි. එහෙයින් ඇතැම් ආණ්ඩුකාරවරුන් කලින් පටන්ම යම් එකඟත්වයන් ඇතිකරගෙන ඉන්නට ඇතිබව සැක මතුවනවා. ජලාලාබාද්, බාමියාන් වැනි පළාත්වල සටනක් දුන්නේ නම් මෙතරම් කඩිනමින් තලේබාන්වරුන් කාබුල් වෙත පැමිණේ යයි සිතන්නට බැහැ.
මේ අතර ඇතැම් ආණ්ඩුකාරවරුන් තලේබාන්වරුන්ගේ සාර්ථකත්වය දැක ඒ හේතුවෙන් ඔවුන් හා එක්වන්නටත් ඇති. නමුත් පළාත් ගණනාවක ප්‍රධානීන් කලින් සැලසුමක් නැතිව තලේබාන්වරුන්ට යටත් වූයේ යයි සිතීම නම් තරමක් අපහසුයි.
මේ ආකාරයෙන් පළාතෙන් පළාත වේගයෙන් අල්ලාගෙන ඉදිරියට එද්දී තලේබාන් සේනාංකවලට එරෙහිව සටන් කරන්නට උත්සාහ කළ ආණ්ඩුකාරයින් වුවද කොටුවී, හුදෙකලා වී පරාජයට පත්වුණා. බොහෝදෙනා ඊට වඩා පහසු මාර්ගය තෝරාගත්තා. ඔවුන් එක්කෝ යටත් වුණා; නැතහොත් පළාගියා.
ප්‍රචාරණය
මේ වතාවේ තලේබාන්වරුන් තමන්ව පෙන්වා දුන්නේ අන්තවාදීන් ලෙස නොව අනාගතය ගැන අභිලාෂයන් සහිත, රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් ලෙසයි. පිටරටවල් සමග සාකච්ඡා සඳහා එන ඔවුන්ගේ දූත පිරිස් ඉංග්‍රීසියෙන් කතා කරන, හොඳින් අඳින පළඳින අයයි. එමෙන්ම ඔවුන් අනාගත රජයක් බාරගන්නට තමන්ට හැකි බව සෑම අයුරින්ම පෙන්නුම් කරන්නට උත්සාහ කළා.
අනෙක් අතට ඔවුන් 1996-2001 සමයේ මෙන් දරුණු ලෙස පළිගන්නා අය ලෙස හෝ ක්‍රීඩා සහ විනෝදය පිළිකුල් කරන්නන් ලෙස තමන්ව පෙන්වා දුන්නේ නැහැ. ඔවුන් පොදුවේ තමන්ට භාර වූ ඇෆ්ඝන්වරුන්ට හොඳින් සැලකුවා. දරුණු සිදුවීම නොවුණා නොවේ. නමුත් ඒවා අතරින් පතර සිදුවූවාක් මිස පොදු සිරිත වූයේ නැහැ. එමෙන්ම ඔවුන් විනෝදබර පුද්ගලයන් ලෙස පෙනී සිටින්නට උත්සාහ කළා. හෙරාත් නගරය අල්ලාගත් තලේබාන්වරුන් ළමා උද්‍යානයට ගොස් විනෝදවන ඡායාරූප පළවීම එවැනි එක් අවස්ථාවක්. මෙම “ප්‍රචාරණ යුද්ධයට” සැලකියයුතු පිරිසක් හසුවූ බව කිව යුතුයි.
අදටත් ඔවුන් ප්‍රසිද්ධියේ පවසන්නේ තමන් කාන්තාවන්ගේ සහ ජනමාධ්‍යවේදීන් ආදී වෘත්තිකයන්ගේ අයිතීන් සුරකින බව සහ කාන්තාවන්ට අධ්‍යාපනය සඳහා අයිතිය සුරකින බවයි. නමුත් කලක් තිස්සේ ඔවුන් අල්ලාගෙන සිටි ප්‍රදේශයන් හි ඔවුන්ගේ භාවිතාව ඊට වෙනස් බවත් කිව යුතුයි. ඉතින් ඒ අතින් ද ඔවුන් ගෙනයන්නේ සහ ගෙනගියේ ප්‍රචාරණයක් පමණයි.
අනාගත තලේබාන් පාලනයක් 1996-2001 කාලයට වඩා වෙනස්වනු ඇත්තේ එකල ගෙනගිය අන්තවාදී වැඩපිළිවෙලම වඩා “ස්මාර්ට්” ලෙස කරගෙන යාමෙන් පමණක් බවයි කිව හැක්කේ.
කර්තෘ සටහන: තලේබාන් ජයග්‍රහණය කෙරේ බලපෑ ජාත්‍යන්තර සාධක සහ කුමන්ත්‍රණ පිළිබඳ මතයන් ගැන මෙහි සාකච්ඡා නොකළේ එය වෙනමම, වඩාත් විමර්ශනාත්මක ලෙස සාකච්ඡා කළයුතු කරුණක් නිසයි. ඒ පිළිබඳ අපි නුදුරේදී සාකච්ඡා කරමු.
- මන්ත්‍රණ
(LNW)