Saturday, November 02, 2024
Follow Us
පුනර්ජනනීය බලශක්තිය සහ දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳව ආසියා-පැසිෆික් සහ දකුණු ආසියාව සඳහා COP26 කලාපීය තානාපතිගේ ප්‍රසාදය

පුනර්ජනනීය බලශක්තිය සහ දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකාව දක්වන කැපවීම වෙනුවෙන්ආසියා-පැසිෆික් සහ දකුණු ආසියාව සඳහා COP26 කලාපීය තානාපති කෙන් ඕ’ෆ්ලැහර්ටි මහතා ප්‍රශංසා කරයි

පුනර්ජනනීය බලශක්තිය සහ ශුද්ධ ශුන්‍ය කාබන් පිළිබඳ අපේක්ෂා සහගත කැපවීම් ආසියා-පැසිෆික් සහ දකුණු ආසියාව සඳහා COP26 කලාපීය තානාපති කෙන් ඕ’ෆ්ලැහර්ටි මහතා ප්‍රශංසාවට ලක් විය. ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ තානාපතිවරයා මෙලෙස ප්‍රශංසාව පල කළේය. “තවදුරටත් ගල් අඟුරු නැත” යන පොරොන්දුවත් සමඟ එහි යාවත්කාලීන කරන ලද ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වය (NDCs) කාලෝචිත ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන්ද , තානාපති කෙන් ඕ’ෆ්ලැහර්ටි මහතා ශ්‍රී ලංකාවට සුබ පැතුවේය. ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ඉහළම මට්ටමේ ඇති කැපවීම, එවැනි අපේක්ෂා සහගත කැපවීම් පිටුපස ඇති ශක්තිය බවත් එය ශ්‍රී ලංකාවට පුළුල් පිළිගැනීමක් ලබා දෙන බවට සැකයක් නැති බවත් ඔහු නැවත අවධාරණය කළේය. දේශගුණික කටයුතු සඳහා මූල්‍යකරණ ප්‍රදාන සඳහා පමණක් නොව, තම ප්‍රතිපත්ති තුළ පැහැදිලි කාබන් විරහිත කිරීමේ යාන්ත්‍රණයන් සහිත රටවල් කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කරන විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ද ඇතුළුව, පුළුල් පරාසයක විහිදුණු අවස්ථා පැහැදිලි අපේක්ෂා සහගත ඉලක්ක සහිතව ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වය ඉදිරිපත් කරන රටවල් සඳහා පවතින බව තානාපති ඕ’ෆ්ලැහර්ටි මහතා පැවසීය. 2050 වන විට සමස්ත ශුද්ධ ශුන්‍ය කාබන් ඉහළ යමින් පවතින රටවල් සංඛ්‍යාවක් විසින් පිළිගනු ලබන වැදගත් ඉලක්කයක් බව ඔහු යළි අවධාරණය කළේය.

තානාපති කෙන් ඕ’ෆ්ලැහර්ටි මහතා මෙම අදහස් පළ කළේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවේ දී හමු වූ අවස්ථාවේ දීය. ආසියානු පැසිෆික් කලාපයේ COP 26 කලාපීය තානාපති කෙන් ඕ’ෆ්ලැහර්ටි මහතා 2021 අගෝස්තු 5 සිට 9 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව කොළඹ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම සංචාරය සංවිධානය කරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මුලපිරීමක් වන “දේශගුණික විපර්යාස සඳහා තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා” යන කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපායන් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය දෙමින් පොදු රාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්තිය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ වීම මෙන්ම, අනෙකුත් අංශ ආවරණය වන පරිදි නීල ප්‍රඥප්තිය තුළ ඇති තවත් ක්‍රියාකාරී කණ්ඩායම් අටකට සක්‍රීයව සහභාගී වීම සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සමඟ ආරම්භ කරන ලද කඩොලාන රැක බලා ගැනීමේ වැඩසටහන ඇතුළුව දේශගුණික විපර්යාස බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී පියවර පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි. විදේශ අමාත්‍යවරයා COP26 සභාපති, ගරු. ආලෝක් ෂර්මා මහතාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ආරාධනාවක් කළේය. නීල ග්‍රහලොව අරමුදලේ (Blue Planet Fund) සාගර රට හවුල් වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර වෙනුවෙන් එතුමා එක්සත් රාජධානියේ රජයට ස්තූති කළේය. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතිය (UNFCCC) යටතේ පාර්ශ්වයන්ගේ 26 වැනි සමුළුව (COP26) 2021 නොවැම්බර් මාසයේ දී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී පැවැත්වීමට නියමිත අතර, එක්සත් රාජධානිය COP26 හි සභාපති ධුරය දරයි.

සාකච්ඡා අතරතුර දී, කොවිඩ්-19 හේතුවෙන් පවතින ගෝලීය අභියෝග මධ්‍යයේ පැවති මෙම සංචාරයේ වැදගත්කම සහ 2021 මැයි 20 වැනි දින එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ ඛේදවාචකය සිදු වූ විට නිශ්චිත සහයක් ලබා දීම පිණිස ඉදිරිපත් වූ පළමු රට ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රදර්ශනය කරන ලද හොඳ හිත ද ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් අගය කරන ලදී.

හරිතාගාර වායුව නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) හි සෘජුවම ගෝලීය උණුසුම් වීමේ හැකියාව (ස්කන්ධ පදනම) සහ 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීමට අපේක්ෂා කරන තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශය තුළින් සිදුකෙරෙන ශ්‍රී ලංකාවේ මුලපිරීම් සහ එක්සත් රාජධානියේම නයිට්‍රජන්4නෙට්සීරෝ පිළිබඳ මුලපිරීම තුළ දේශගුණික විපර්යාස පිළිබඳ කතිකාවට නයිට්‍රජන් අපද්‍රව්‍ය ගෙන ඒමේ වැදගත්කම ද ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් නැවත අවධාරණය කරන ලදී. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ගොඩනැගීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී නැවත අවධාරණය කෙරිණි.

වැඩබලන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් බෲස් බක්නෙල් මහතා, කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සමෘද්ධි අංශ ප්‍රධානී ඇන්ඩෲ ප්‍රයිස් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස අධ්‍යක්ෂ ජනරාල් හසන්ති උරුගොඩවත්තේ දිසානායක මහත්මිය ද මෙම රැස්වීමට සහභාගී වූහ.

මෙම සංචාරයේදී තානාපති ඕ’ෆ්ලැහර්ටි මහතා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ උසස් නිලධාරීන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කළ අතර, පසුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්මික මට්ටමේ ක්‍රියාකාරී රැස්වීමක් පැවැත්විණි. පැමිණ සිටින තානාපති ඕ’ෆ්ලැහර්ටි කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද හමු විය. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කළමනාකරණය කරනු ලබන බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ ඇහැළ (Cassia fistula) ගසක් සිටුවීමෙන් මෙම චාරිකාව අවසන් විය. මෙම තෙත්බිම් උද්‍යානය කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය විසින් අරමුදල් සපයනු ලබන තෙත්බිම් සංරක්‍ෂණ ව්‍යාපෘතියක්වන “ඩාවින් මුලපිරීම” (Darwin Initiative) සමඟ සම්බන්ධ වේ.

විදේශ අමාත්‍යාංශය
කොළඹ
2021 අගෝස්තු 10 වැනි දින