Saturday, November 02, 2024
Follow Us
MCC හරහා ශ්‍රී ලාංකිකයන්ට හිමිවීමට තිබූ තෑග්ග කොල්ලකෑමට ලක් වුණා - ඇමරිකානු තානාපතිනිය අවධාරණය කරයි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට තීරණය කළේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සිට ශ්‍රී ලංකා රජයේ විවිධ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් බව මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. එම වැඩසටහන යටතේ ආධාර මුදල් ලබා දෙන්නේ ණයක් ලෙස නොව ත්‍යාග මුදලක් ලෙස බවත්, එම යහපත් සංවර්ධන වැඩසටහනේ ප්‍රතිලාභ ලැබීමට ශ්‍රී ලාංකික ජනතාවට ලැබුණු අවස්ථාව කොල්ලකෑමට ලක් වූ බවත් තානාපතිනිය සඳහන් කරනවා.



ටෙප්ලිට්ස් මහත්මිය මේ බව සඳහන් කළේ දෙරණ රූපවාහිනී නාලිකාවේ හයිඩ් පාර්ක් වැඩසටහනට එක්වෙමිනි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන යටතේ මුදල් ආධාර ලබා දෙන්නේ ඇමරිකානු ජනතාවගෙන් සෙසු රටවල ජනතාවට ලැබෙන තෑග්ගක් ලෙස බව පෙන්වා දෙන තානාපතිනිය පවසන්නේ එහි ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට නොහැකි වූ බවයි. එම ආධාර මුදල් හරහා මෙරට ආර්ථික වර්ධනයට තිබෙන තීරණාත්මක බාධක මගහරවා ගැනීමට අවස්ථාව තිබූ බවද ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කරනවා.

මෙම ආධාර වැඩසටහන යටතේ ප්‍රවාහන පහසුකම් දියුණු කිරීම, යටිතල පහසුකම් වර්ධනය කිරීම, ඉඩම් මිලදී ගැනීම හා හිමිකාරීත්වය ඩිජිටල්කරණය කිරීම වැනි යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.

කෙසේ නමුත් දේශපාලනඥයන්, විවිධ ජාතිවාදී සංවිධාන MCC ගිවිසුමට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරවමින් දැවැන්ත මෙහෙයුමක් දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ආධාර මුදල අත්හිටුවීමට ඇමරිකානු බළධාරීන් තීරණය කළේය.

(LNW)