Saturday, November 02, 2024
Follow Us
ඔක්සිජන් චීනයෙන් ගෙන්වන්න හදයි

කොවිඩ් රෝගීන්ට දෛනිකව අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වැඩිවෙයි


කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන් චීනයෙන් ආනයනය කිරීමට ඖෂධ නියාමනය, සැපයීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය සූදානම් වෙයි.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දෛනිකව අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 45000 ඉක්මවා යාම නිසා ආරක්ෂිත තොගයක් ලෙස ඔක්සිජන් චීනයෙන් ලබා ගැනීමට අමාත්‍යංශය තීරණය කර ඇත. ලීටර් එක්ලක්ෂ විසිදහසක් මෙලෙස ගෙන්වන බව අමාත්‍යංශය කියා සිටියේය.

කොවිඩ් වසංගතය ආරම්භයේදී ඔක්සිජන් දෛනිකව අවශ්‍ය වූයේ ලීටර් 21000ක් පමණි. එම ප්‍රමාණය තුන්වන රැල්ලේදී දෙගුණයකින් වැඩිවී ඇත.

මේ අතර පල්ලේකැලේ පිහිටි කෙලුන් ලයින් පෞද්ගලික සමාගමේ ඔක්සිජන් නිෂ්පාදන ලබන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය. පළමුව ඔක්සිජන් බෝතල් ලක්ෂ 15ක් පමණ නිෂ්පාදනය කර සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදීමට සමාගම තීරණය කර ඇත.

(Aruna)