ඉහළ යමින් ඇති තෙල් මිල අඩු කිරීම සඳහා පියවර ගැනීමට තෙල් නිෂ්පාදනය කරන රටවල් එකඟතාවකට පැමිණ සිටියි. ඒ පසුගිය කාලයේ සීමා කර තිබූ තෙල් සැපයුම නැවත ඉහළ දැමීම තුළිනි.
කොරෝනා වසංගතයේ මුල් කාලයේ තෙල් සඳහා තිබූ ඉල්ලූම පහත වැටීමත් සමග තෙල් මිලද වේගයෙන් පහත වැටිණි. මේ නිසා තෙල් නිෂ්පාදනය සීමා කිරීමට ඉහත රටවල් කටයුතු කළේය. නමුත් මේ වනවිට තෙල් සඳහා වන ඉල්ලුම කෙමෙන් ඉහළ යමින් තිබේ. නමුත් නිෂ්පාදනය සීමා කර ඇති නිසා සැපයුම අඩු වීමෙන් තෙල් මිල ඉහළ යාමට පටන් ගත්තේය.
මෙම වසර තුළ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සියයට 43කින් ඉහළ ගොස් ඇත. වසංගතය අතරේ බොහෝ රටවල ආර්ථිකයන් හිස එසවීමට උත්සාහ දරමින් සිටින පසුබිමක තෙල් මිල ඉහළ යෑම ලෝක ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් එල්ල කරමින් සිටියි. තෙල් නිෂ්පාදනය කරන රටවල් සිය නිෂ්පාදනය ඉහළ දමමින් මිල අඩු කිරීමට පියවර ගනිමින් සිටින්නේ මෙයට විසඳුමක් වශයෙනි.
ඔපෙක් රටවල්ද, ඔවුන් සමග හවුල්ව කටයුතු කරන රුසියාවද මෙම තීරණයට එළැඹ ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අනුව ලබන මාසයේ (අගෝස්තු) සිට ඔවුන් නිෂ්පාදනය ඉහළ දැමීමට කටයුතු කරනු ඇත. දිනකට බැරල් මිලියන දෙකකින් සැපයුම වැඩි කරනු ඇති බව සඳහන් වේ.
(Aruna)