Saturday, November 02, 2024
Follow Us
කොරෝනා පාලනය කළ රටවල ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ඉහළට

වඩාත් වේගයෙන් පැතිරෙන සහ වඩාත් භයානක ප්‍රතිඵල ඇති කරන ඩෙල්ටා වයිරස ප්‍රභේදය ව්‍යාප්ත වන්නට පටන් ගැනීමත් සමග මෙතෙක් කොවිඩ් වසංගතය සාර්ථක ලෙස පාලනය කර තිබූ රටවල් පවා නැවතත් අවදානමකට ලක්ව ඇත.

ලෝකයේ සාර්ථකම එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ඊශ්‍රායලය තුළ පවා ඩෙල්ටා ප්‍රභේදය නිසා නැවතත් අවදානමක් මතුව තිබේ. මේ වනවිට එරට තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ වැඩිහිටියන්ගෙන් සියයට 50ක් පමණ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

වසංගතය හොඳින් පාලනය කර තිබූ ඕස්ට්‍රේලියාව තුළද ඩෙල්ටා ප්‍රභේදය නිසා අලුත් තර්ජනයක් මතුව තිබේ.
එරට විශාලතම නගරය වන සිඩ්නි නගරය සති දෙකක කාලයක් සඳහා අගුළුලෑමට බලධාරීන් පියවර ගෙන ඇත. ඕස්ට්‍රේලියාව තුළ මෙවැනි තත්ත්වයක් ඇති වීමත් සමග ඒ ආසන්නයේ පිහිටි නවසීලන්තයද තරමක් නොසන්සුන් වී සිටින ආකාරයක් දැකිය හැකිය.

පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර නිරෝධායනයෙන් තොරව සංචාරය කිරීමට ඉඩ ලබා දී තිබුණත් මේ වනවිට එයද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ අතර බංග්ලාදේශයද අද (28 වැනිදා) සිට සති දෙකක කාලයක් සඳහා මුළු රටම අගුළු ලෑමට තීරණය කර ඇත.

එයට හේතු වී ඇත්තේද ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළ යාමයි. තවත් ආසියානු රටක් වන ඉන්දුනීසියාව තුළද ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇත.

පසුගිය සෙනසුරාදා එරටින් වාර්තා වූ දෛනික ආසාදිතයන් ගණන 21,000 ඉක්මවා තිබූ අතර එය මේ දක්වා එරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවයි. රුසියාවේද ඇතැම් ප්‍රදේශවල ආසාදිතයන් වාර්තා වීම සහ මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් ඇති බව සඳහන් වේ.

‘මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ගැන ලොව පුරා දැඩි අවධානයක් යොමු වී තිබෙනවා’
‘මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ගැන ලොව පුරා දැඩි අවධානයක් යොමු වී තිබෙනවා’ යැයි පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි තෙද්‍රෝස් ගෙබ්‍රයේසස්ද ප්‍රකාශ කර තිබිණි. මේ වනවිට සොයාගෙන ඇති වයිරස ප්‍රභේද අතරින් වේගයෙන්ම පැතිරෙන ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය බවද, මේ වනවිට රටවල් 85කට ආසන්න සංඛ්‍යාවකින් එය වාර්තා වී ඇති බවද, එන්නත් නොකළ ජනතාවට මේ මගින් දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

(Aruna)