නව රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) සඳහා ලබා දී තිබූ ණය සහනය මූල්‍ය ආයතනවලට ද ලබා දී තිබේ.
මෙම ණය සහනයේදී වර්ෂයක් සඳහා ප්‍රාග්ධන වාරිකය අත්හිටුවනු ලබන අතර, මේ අනුව අදාළ ණය සඳහා පොලිය පමණක් ගෙවාගෙන යාමට අවස්ථාව ලැබේ.
රුපියල් මිලියන 300 ට අඩු ණය මුදල් ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා මෙම ක්‍රමය ක්‍රියාත්මක වනු ඇත.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින් පුද්ගලික නම යටතේ ලබාගත් ණය සඳහා ද මෙම සහනය ඉදිරියේදී සලකා බැලීමට නියමිත ය.
අදාළ සහනය ලබාගැනීමට නම් ජනවාරි 15 වැනිදා වන විට සිය ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු වේ.
NPL (Non-Performing Loans) හෙවත් මාස 3කට වැඩි කාලයක් නොගෙවන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සම්බන්ධයෙන් ද නව ආණ්ඩුව විසින් සහනයක් ලබා දී තිබේ.
ඒ අනුව, නොගෙවන ලද ණය ට අදාළව නඩු කටයුතුවලින් පසු දේපළ විකිණීමට තීරණය කර ඇති අවස්ථාවල, ණයකරු විසින් servicing interest සතුටුදායක ලෙස ගෙවා ඇති අවස්ථාවලදී දේපළ විකිණීම අත්හිටුවීමට තීරණය කර ඇති බව ද මෙහිදී හෙළි විය.
මෙම තීරණ දැනුම් දෙනු ලැබුවේ මහබැංකුවේ නිලධාරීන් සහ අගමැතිගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය අඟහරුවාදා අරලිය ගහ මන්දිරයේදී පැවැත්වූ සාකච්ඡාවේදී ය.
බදු සහන
මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් රජය විසින් බදු සහන වැඩපිළිවෙළක් ද හඳුන්වා දී තිබේ. මෙමගින් අපේක්ෂා කරන්නේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සැලකෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නැවත පණ ගන්වාලීමයි.
මේ අනුව ජාතිය ගොඩනැංවීමේ බද්ද (NBT) ලෙස මෙතෙක් අය කළ 2% ඉවත් කර තිබේ. මෙය බැංකු මෙන්ම සෙසු මූල්‍ය ආයතනවලට ද අදාළ වේ. බැංකු සහ මූල්‍ය සමාගම් විසින් ගෙවිය යුතු සමස්ත බදු ප්‍රතිශතය ද 52% සිට 43% දක්වා 9%කින් අඩු කර ඇත.
(LNW)