Friday, November 15, 2024
Follow Us
නව නායකත්වයත් සමඟ සංචාරක කර්මාන්තයේ පුනර්ජීවය ගැන අපේක්ෂා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ සංචාරක කර්මාන්තය පුනර්ජීවනයක් ඇති කිරීම පිළිබඳ පෞද්ගලික අංශය සුබවාදී අපේක්ෂා පළ කරයි. සංචාරක කර්මාන්තයේ ශක්තිමත් වර්ධනයක් ඇති කර ගැනීම සඳහා මූලික ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයනට අවතීර්ණ විය යුතු බවද සංචාරක සංගම් අවධාරණය කරයි.

ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාත්මක වුවද පසුගිය පාලන සමයේ දී එම කටයුතු නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම හේතුවෙන් සංචාරක කර්මාන්තයේ වේගවත් හා වඩා ශක්තිමත් පුනර්ජීවනයක් ඇතිවීම මඟ හැරුණු බවද සංගම් පෙන්වා දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්තේ මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ, ‘සංචාරකයන්ගේ පැමිණීම හා ආදායම් අඩුවීම හේතුවෙන් මේවනවිට හෝටල් 90කට අධික ප්‍රමාණයක් විකිණීම සඳහා සැලසුම් කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඛේදවාචකයෙන් පසු අපගේ කර්මාන්තය මුළුමනින්ම පාහේ බිඳවැටී තිබෙනවා. අපගේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ විදේශීය සංචාරකයන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමයි, ශ්‍රී ලංකාව ආරක්ෂිත හා සුදුසු ගමනාන්තයක් ලෙස නැවත ස්ථාපිත කිරීම සැමටම වඩා වැදගත්” යනුවෙන් හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය සහන සහ ආධාර කඩිනමින් ලබා දීමට නව රජයෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා සංචාරක හෝටල්කරුවන්ගේ සංගමය අවධාරණය කරයි.

කොළඹ සංචාරක හෝටල් සංගමයේ සභාපති ශාන්ති කුමාර් පවසා සිටියේ නාගරික හෝටල්වල අඩු පැමිණීමක් පැවතීම කර්මාන්තයට බෙහෙවින් බලපා ඇති බවයි. සංචාරකයන් සඳහා අත්දැකීම් සහ විනෝදාස්වාදය ලබා දීමෙන් අර්බුදයට යම් විසඳුමක් ලබා දිය හැකි බවට හෙතෙම විශ්වාසය පළ කරන අතරම මේ වන විට කොළඹ නගරයේ සංචාරක හෝටල් කාමර විශාල ප්‍රමාණයක් තිබේ. 2020/ 21 වන විට නගරයේ දැනට පවතින කාමර 10,000 සිට තවත් කාමර 6,500ක් එකතුවීමට නියමිත වේ. ඉන් අනතුරුව මේ ගැටලුව තවත් උග්‍රවීමට ඉඩ ඇති අතර, විවේක හා ව්‍යාපාරික සංචාරකයන්ගෙන් පමණක් මේ ධාරිතාවය පිරවිය නොහැකි බැවින්, ඒ සඳහා විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක විය යුතු බවටද අවධාරණය කරයි. සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ආදිය සංචාරක ආකර්ෂණ වැඩසටහන් ලෙසින් සංවිධාන විය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

සංචාරක ව්‍යාපාරය මේ වනවිට ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් උපයා ඇති අතර, රට පුරා රැකියා 500,000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර තිබේ. 2018 අවසානය වන විට මිලියන දෙකකට අධික ජනතාවක් ජීවනෝපාය ලෙස සංචාරක කර්මාන්තය මත යැපෙන අතර, කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 4.5කට ආසන්න දායකත්වයක් ලබා දී ඇති අතර, ආදායමෙන් 6%කි. 2019 සඳහා සංචාරකයන්ගේ පැමිණීම මිලියන 1.8 සිට 1.9 දක්වා වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය පසුගිය වසරේ මිලියන 2.3 සිට අඩුවිය.

(Dinamina)