Saturday, October 19, 2024
Follow Us
අගමැති දකුණු ආසියානු ව්‍යවසායකයින්ගෙන් කළ ඉල්ලීම

ලාපීය ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා නව්‍ය නිෂ්පාදන සහ සේවා කෙරෙහි අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දකුණු ආසියානු ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

 එක්සෙල් වර්ල්ඩ් කලම්බු සම්මේලන මධ්‍යස්ථානයේ පැවති දකුණු ආසියානු වෙළඳ ප්‍රදර්ශනයට ඊයේ (03) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

අසල්වැසි කලාපීය වෙළඳපල වන දකුණු ආසියානු රටවල් වන ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ එහි නිරීක්ෂක සාමාජිකයෙකු වන චීනය ද ඇතුළුව අනෙකුත් දකුණු ආසියානු රටවල් සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම තුළින් වෙළඳ සහ ආයෝජන සහයෝගීතාවය ඉහළ නැංවෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ලොව විශාලතම තේ නිෂ්පාදකයා සහ අපනයනකරු දකුණු ආසියාව වන හෙයින් තේ කර්මාන්තයේ උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට කලාපීය රටවල් සහයෝගයෙන් කටයුතු කළ යුතුව ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නව්‍ය නිෂ්පාදන මගින් ජාත්‍යන්තර වෙළඳපොල සමඟ තරඟ කිරීමේ හැකියාව වැඩි දියුණු කළ හැකි බවත් එවැනි පොදු නිෂ්පාදන රාශියක් ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

“වෙළඳ ප්‍රදර්ශනය සහ ව්‍යාපාරික සංසදයට ඕනෑම පුද්ගල ව්‍යාපාරයක හෝ සංවිධානයක අවශ්‍යතාවයෙන් ඔබ්බට ගිය විශාල අරමුණක් ඇත. මෙය දකුණු ආසියාතික රටවල් අතර සමාජ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ සහ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ සංසදයකි.

මෙම සංසදය දකුණු ආසියාවේ සහ ඉන් ඔබ්බට අපනයන වෙළෙඳපොළ තුළ ජාත්‍යන්තර වෙළෙඳාම ව්‍යාප්ත කිරීමට වේදිකාවක් නිර්මාණය කරන බැවින් දකුණු ආසියාවේ වෙළෙඳ සහ ව්‍යාපාරවලට තම නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කර ගැනීමට විසල් අවස්ථාවක් ලබා දෙන බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ආර්ථික අර්බුදයෙන් නැගී සිටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමහර රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන 2022 දී ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීම නැවැත්වූ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එම රටවල් නැවතත් ශ්‍රී ලංකාව සමඟ ගණුදෙනු ආරම්භ කර ඇතැයි ද පැවසීය. ජපානයේ ආධාර සහ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු සියලුම සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට සහ නව ව්‍යාපාර ගවේෂණය කිරීමට ජපානය පසුගිය සතියේ එකඟ වීම ඊට හොදම උදාහරණයකි.

ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය, මාලදිවයින, භූතානය, ඇෆ්ගනිස්ථානය සහ නේපාලය මෙන්ම චීනය වැනි සාර්ක් සංවිධානයට අයත් අපගේ දකුණු ආසියාතික අසල්වැසියන්ගෙන්, ආයෝජකයින් සහ වෙළඳ හවුල්කරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට එක්වීමට ලැබීම සතුටක්." බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2024 දකුණු ආසියානු වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීම සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් සහ පළමු දින කවරයක් නිකුත් කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

සාර්ක් මහලේකම්, සාර්ක් සී.සී.අයි හි සභාපති මොහොමඩ් ගොලම් සර්වාර්, සාර්ක් සී.සී.අයි හි සභාපති මොහොමඩ් ජාෂීම් උද්දීන්, එෆ්.සී.සී.අයි සභාපති කීර්ති ගුණවර්ධන, එෆ්.සී.සී.අයි සභාපති ඇතුළු අනෙකුත් වාණිජ මණ්ඩල සාමාජිකයින්, දකුණු ආසියානු රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් ඇතුළු ප්‍රමුඛ පෙළේ වාණිජ මණ්ඩල නියෝජිතයන් සහභාගී වූහ.