Saturday, October 19, 2024
Follow Us
මඩකලපුවේ දෙළුම් වගාවෙන් රුපියල් මිලියන 3.5ක ආදායමක්

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබේ.

මින් පෙර කිසිදු අවස්ථාවක මඩකලපුව දිස්ත්‍රික්කය තුළ වගාවක් ලෙස දෙළුම් වගා කිරීමට පියවර ගෙන නැත. නමුත් මඩකලපුවේ මුහුදු සුළඟ සමඟ දෙළුම් වගා කිරීමට සුදුසු පරිසරයක් ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසුව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා විසින්  චෙන්කලඩි පළවායි ප්‍රදේශයේ අක්කර 10ක නියාමන ව්‍යාපෘතියක් ලෙස දෙළුම් වගාව ආරම්භ කළේය.

මෙම දෙළුම්  විශේෂය ඉන්දියාවේ වගා කරන භගවාන් නැමැති සුප්‍රකට දෙළුම් විශේෂය වේ.

අධි ඝනත්ව දෙපේළි ක්‍රමයට (High Density Double Raw System) මෙම වගාව සිදු කළ අතර ඊට අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දුන්නේය.

මෙම දෙළුම් වගාවේ ගොවීන් කිහිප දෙනෙක් අක්කර භාගයක් බැගින් වගා කරනු ලැබූ අතර අස්වනු නෙළීම මේ වනවිට සිදු වන අතර එම දෙළුම් වගාවේ.

මෙම ගොවීන් සියලු දෙනාම වගාවේ අස්වනු නෙලීම අරඹා මාස 06ක් තුළ මේ වනවිට ඉහළ ආදායමක් උපයා ඇති අතර පළවායි ප්‍රදේශයේ දෙළුම් වගා කළ උදයකුමාර්  මහතා මේ වනවිට රුපියල් මිලියන 3.5ක් අක්කර භාගයක දෙළුම් වගාවෙන් වැඩිම ආදායමක් උපයාගෙන ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ (12) දැනුම් දුන්නේය.

මඩකලපුවේ දෙළුම් වගාවෙන් පළමු අස්වැන්නෙන් මෙම මුදල උපයා ගැනීමට හැකි වී ඇති අතර තවත් වසර 20ක් පමණ මෙම වගාවෙන් ආදායම් උපයා ගැනීමට හැකි අතර වගාව අවසන් වන විට රුපියල් මිලියන 60ක් එක් ගොවි මහතෙකුට ආදායම් උපයා ගත හැකි  බව ද කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහන් කරයි. 

දැනට දෙළුම් රටට අවශ්‍ය ප්‍රමාණය මෙරට නිෂ්පාදනය නොවෙන නිසා විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. ඒ සඳහා විදේශ වීනිමය විශාල ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යයි. නමුත්  මේ වනවිට දෙළුම් වගාව මෙරට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම ද ඉදිරි කාලය තුළ මෙරටට අවශ්‍ය දෙළුම් ප්‍රමාණය මෙරට දීම නිපදවා ගැනීමට හැකි වනු ඇත.  

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද නව දෙළුම් ප්‍රභේද දෙකක් මලී Pink සහ ලංකා Red යනුවෙන් හඳුන්වා දී ඇති අතර  මේ වනවිට එම ප්‍රභේද දෙක  කල්පිටිය ප්‍රදේශයේ සාර්ථක ලෙස වගා කර ඇත. ඊට අමතරව මඩකලපුව දෙළුම් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් දුන්නේය.

ඒ අනුව මේ වනවිට තවත් ගොවීන් විසි දෙනෙක් තෝරා ගැනීමට කටයුතු යොදා ඇත.

තිස්සමහාරාම ප්‍රදේශයේ පුද්ගලික අංශයේ ගොවි මහතෙක් ද දැනට සාර්ථක ලෙස දෙළුම් වගාව සිදු කරමින් පවතී.

රසයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ මෙම දෙළුම් ආනයනික දෙළුම්වලට නොදෙවෙනිව පැවැතීම ද විශේෂ කාරණයක් බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය වැඩිදුරටත් සඳහන් කරයි.