Sunday, October 20, 2024
Follow Us
බිත්තර මිලෙහි වෙනසක්

වෙළෙඳපොළේ බිත්තරයක මිල මේ දිනවල රුපියල් 40ක් දක්වා අඩු වී තිබේ.

මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව බිත්තර ලක්ෂ 65කි. දැනටමත් දේශීය කුකුළු ගොවිපොළවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇතැයි බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරටට වාර්ෂිකව අවශ්‍ය මව්සතුන් සංඛ්‍යාව 85,000ක් වූවත් මේ වන විට සියලු කුකුළු ගොවිපළවල සිටින මව් සතුන් සංඛ්‍යාව 135,000 ඉක්මවා ගොස් ඇති බවත්, සියලුම කුකුළු ගොවිපොළවල කුකුළු පැටවුන්ගේ ධාරිතාවය සියයට සියයකින් සම්පූර්ණ කර තිබෙන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.

එම නිසා ඉදිරි කාලය තුළ දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 35ටත් වඩා අඩු වීමට ඉඩ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය.

විශේෂයෙන් අලුත් අවුරුදු සමයේ දී කිසිඳු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපොළට සැපයීමට පියවර ගන්නා බවත්, අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙන බවත් ඇමැතිවරයා කීවේය.