එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් දියත් කිරීම පසුගිය දිනෙක සිදු කෙරුණු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි ඉබිරාහිම් අල් මුවල්ලා ,සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවීර සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන්බංඩාර අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් නිෂ්පාදන සංගම් ප්‍රධානීන් සහ රාජ්‍ය හා පෞද්ගලික සංවිධානවල නිලධාරීන් මෙන්ම වෙළෙද කුටි සදහා ඉදිරිපත් වන්නන් සහභාගී විය.මෙහිදී එක්ස්පෝ 2020 ඩුබායි හි නිල වෙබ් අඩවිය ද එළිදැක්වීම සිදුවිය.
“එක්ස්පෝ 2020 ඩුබායි” නරඹන්නන් මිලියන 25 කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට සමත්වේ යයි අපේක්ෂා කෙරෙන අතර ඒ අතරින් 70% ක් ජාත්‍යන්තර සංචාරකයින්ය. තවද රටවල් 200 කට අධික ප්‍රමාණයක් මාස 06 ක කාල සීමාවක් තුළ එක්ස්පෝ 2020 ඩුබායි ” ප්‍රදර්ශනයෙහි රැදී සිටිනු ඇතැයි දඅපේක්ෂා කෙරේ . මේ පිළිබඳව දැනටමත් ශ්‍රී ලංකා රජය 2019 ජුලි 08 වන දින “ඩුබායි එක්ස්පෝ 2020 කාර්යාංශය” සමඟ නිල සහභාගීත්ව ගිවිසුමට අත්සන් තබා ඇත.
එක්ස්පෝ 2020 ඩුබායි හි ලංකා මණ්ඩපය “Opportunity ” දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති අතර “Island of Ingenuity” යන තේමාව යටතේ මණ්ඩපය සංවිධානය කෙරේ.මණ්ඩපය සැලසුම් කිරීම මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් “ජලය (Water)” යන තේමාව යටතේ සිදු කරනු ඇත.මෙම තේමාව, ශ්‍රී ලංකාව “ඕනෑම අභියෝගාත්මක සිදුවීමක් , අවස්ථාවක් ලෙස දැකීමට කැමති ජාතියක්” වශයෙන් විදහා දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඕනෑම අභියෝගාත්මක තත්වයකට අනුවර්තනය වීමේ හැකියාව අපතුළ ක්‍රියාත්මක වන අතර, සෑම ජල බිංදුවක්ම අපේම දියුණුවේ මාවත පෝෂණය කරන අනෙක් සියලු දෙනාටද මෙය මඟ පෙන්වීමක් සේ සැලකිය හැක.මෙහිදී ගැටළු විසඳීමේ සංස්කෘතික හා දේශීය ක්රවේදයන් හරහා ව්‍යවසායකත්වයේ හා නව්‍යකරණයේ ගැටළු විසදීමේ අගය මෙතුලින් පෙන්වයි.
එක්ස්පෝ 2020 ඩුබායි හරහා සංචාරක ව්‍යාපාර වර්ධනය, නවෝත්පාදනය ව්‍යාපාරවල දියුණුව සහ ව්‍යාපාර සදහා උචිත රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිය ඉහළ නැංවීම මගින් 2025 ශ්‍රී ලංකා දැක්ම සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කරයි.මෙම මාස හයක කාලසිමාව තුළ සංචාරක අංශය ඇතුළු නිෂ්පාදන හා සේවා අංශ 26 ක් සමඟින්ශ්රී ලංකාවේ සුවිශේෂී හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත.
සන්නාම තානාපතිවරු
සංචාරක, වෙළඳාම සහ ආයෝජන යන ක්ෂේත්රයන්හි එකිනෙකට වෙනස් අවස්ථාවන් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම හා සන්නාමය කිරීම සඳහා එක්ස්පෝ 2020 ඩුබායි වේදිකාව යොදා ගැනෙනු ඇත. විශාලත්වය සහ ගෝලීය අවධානය සැලකිල්ලට ගනිමින් මෙම අවස්තාව ආකර්ෂණීය වනු ඇති අතර, මෙහි ප්‍රවර්ධනය කටයුතු සඳහා ලෝක ප්‍රකට ලාංකික සන්නාම තානාපතිවරුන් පත්කර තිබේ.
“ශ්‍රී ලංකා ක්‍රිකට්” හරහා දැනටමත් ලබා ඇති ගෝලීය පිළිගැනීම හේතුවෙන් “එක්ස්පෝ 2020 ඩුබායි” සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මහේල ජයවර්ධන මහතා සහ කුමාර් සංගක්කාර මහතා සන්නාම තානාපතිවරුන් ලෙස පත්කර තිබේ.ඒ අනුව ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ ශක්තිය වෙළෙඳ නාමයක් ලෙස භාවිතා කිරීමට අපේක්ෂිතය.තවද ලෝක ප්‍රකට ලංකා සූපවේදියෙකු වන පීටර් කුරුවිට මහතා ශ්‍රී ලංකික කුළු බඩු සමඟ කැටි වූ ශ්‍රී ලාංකීය ආහාර පිසීමේ කලාව හඳුන්වා දීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරාධිත සූපවේදීයකු ලෙස “එක්ස්පෝ 2020” සදහා සහභාගි වීමට නියමිතය .
“එක්ස්පෝ 2020 ඩුබායි” සහභාගි වීම තුළින් ලංකාවේ සිල්ලර වෙළෙඳාම සඳහා ලෝක වෙළෙඳ පොළෙහි අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමඟින් අඩු ආදායම් ලබන පුද්ගලයින්,පවුල් සහ ප්‍රජාවන් වෙත වටිනා අවස්ථාවන් උදා වේ. මෙහි දී තෝරා ගනු ලැබූ නිෂ්පාදන කාණ්ඩ වන්නේ: ආයුර්වේද සහ ඒ ආශ්රිත නිෂ්පාදන, තේ, ඇඟලුම්, ශ්‍රී ලාංකික කුළුබඩු සහ ආශ්‍රීත නිෂ්පාදන, ආහාරපාන අත්කම් නිෂ්පාදන, ඇඟලුම්, ස්වර්ණාභරණ, තෑගි භාණ්ඩ, අත්යන්ත්‍ර නිෂ්පාදන,බතික් සහ බීර නිෂ්පාදන ආදියයි.“එක්ස්පෝ 2020 ඩුබායි” වැඩසටහනට අදාළ තිරසාර බලපෑම “Global best practice programme” යටතේ ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත ඉහළම ව්‍යාපෘති 25 යටතේ මුහුදු විද්‍යා (Seacology) විෂය පථයට අදාළව ”ශ්‍රී ලංකා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය” මේ සඳහා තෝරා ගෙන ඇත.මෙම වැඩසටහනින් රටෙහි ප්‍රතිරූපය ඉහළ නැංවීම සහතික කෙරෙන අතර ශ්‍රී ලංකාවේ නව්‍ය හා සාර්ථක ව්‍යාපෘති සඳහා වැඩි අවධානයක් මෙන්ම , ගෝලීය ආකර්ෂණය ලබා ගැනීමටද අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
“ශ්‍රී ලංකා දිනය” සැමරුම
“ශ්‍රී ලංකා දිනය” සැමරුම් උත්සවය 2021 ජනවාරි 03 වන දිනට සැසි වාර 2ක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක, ශ්‍රී ලංකා සන්නාම තානාපතිවරුන් සහ අනෙකුත් සම්භාවනීය පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් “ශ්‍රී ලංකා දිනය” සැමරුම පැවැත්වෙනු ඇත.
(Dinamina)