මහ බැංකුකරණය පිළිබඳ වෙනස් ලෙස සිතීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉටු කරමින් අග්නිදිග ආසියානු මහ බැංකු ආයතනයේ දී සියැසන් (SEACEN) සහ අන්තර්ජාතික පියවීම් බැංකුවෙහි (Bank for International Settlements - BIS) උසස් මට්ටමේ සම්මන්ත්‍රණය සහ සියැසන් විධායක කමිටුවේ 18 වැනි රැස්වීම අතිසාර්ථකව කොළඹ දී පැවැත්වීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුග්‍රාහකත්වයෙන් මුළු දුන් ඒ සමුළු දෙක පිළිබඳව අදහස් දක්වන මහ බැංකුව මෙසේ ද කියා සිටියි.
සියැසන් සහ අන්තර්ජාතික පියවීම් බැංකුවෙහි උසස් මට්ටමේ සම්මන්ත්‍රණය සහ සියැසන් විධායක කමිටුවෙහි 18 වෙනි රැස්වීම පසුගිය මස 26වැනිදා සිට 28වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලදි. මේ සමුළුව සහ රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති, සියැසන් සාමාජික, මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්හි නියෝජ්‍ය අධිපතිවරු හා නියෝජිතයෝ සහ කීර්තිමත් දේශකයෝ සහභාගි වූහ.
මේ වසරේ සියැසන් සහ අන්තර්ජාතික පියවීම් බැංකුවෙහි උසස් මට්ටමේ සම්මන්ත්රණයෙහි තේමාව වූයේ ‘මහ බැංකුකරණය පිළිබඳව වෙනස් ලෙස සිතීම' යන්නයි. මේ තේමාව යටතේ නව අභියෝග හා ප්රවණතාවන්ට මුහුණ දීම සඳහා මහ බැංකු විසින් භාවිත කරන ප්රවේශයන් පිළිබඳ නැවත සිතා බලන්නේ කෙසේද යන්න පිළිබඳ අන්තර්ජාතික පියවීම් බැංකුව, නිව්යෝක් ෆෙඩරල් සංචිත බැංකුව (Federal Reserve Bank of New York) ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලය (Council on Economic Policies) ආසියානු ව්‍යාපාර අධ්‍යනායතනය (Asia School of Business) සහ ප්‍රංශයේ සයන්සස් පෝ (Sciences Po Paris) යනාදි ජාත්‍යන්තර ආයතන නියෝජනය කරමින් පැමිණි ප්‍රසිද්ධ දේශකයන් විසින් ඔවුන්ගේ අත්දැකීම් විස්තර කරන ලදි.
මේ යටතේ දේශගුණික වෙනස්වීම්. ඩිජිටල්කරණය, ව්‍යවහාරික විචාරාත්මක චින්තනය (Applied Critical Thinking) සහ උද්ධමන ඉලක්කකරණය යනාදී තේමාවන් පිළිබඳ සාකච්ඡා කරන ලදි.
අග්නිදිග ආසියානු මහ බැංකු ආයතනය බෲනායි දාරුස්සලාම්, කාම්භෝජය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, හොංකොං, කොරියාව, ලාඕසය, මැලේසියාව, මොංගෝලියාව, මියන්මාරය, නේපාලය, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, චීන තායිපේ, තායිලන්තය සහ වියට්නාමය යන සාමාජික ආර්ථිකයන්හි මහ බැංකු සහ මූල්‍ය අධිකාරීන් 19කගෙන් මෙන්ම අනුබද්ධ සාමාජිකයන් 8 දෙනකු සහ නිරීක්ෂකයන් 8 දෙනකුගෙන් සමන්විත වේ. 1982 වර්ෂයේ දී පිහිටුවන ලද සියැසන් ආයතනය ආසියා පැසිෆික් කලාපය තුළ මූල්‍ය මුදල් හා බැංකු ආශ්රිත කරුණු පිළිබඳ දැනුම බෙදා ගැනීම සහ ඒ පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
(Dinamina)