Thursday, October 24, 2024
Follow Us
විශේෂ කැබිනට් හමුවේදී ගත් තීරණය

හදිසි අවශ්‍යතාවයන්වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පුද්ගලික බැංකුවලත් ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව රාජ්‍ය ආයතන වලට හිමිවේ.

මේ වන විට රජයට අයත් සංස්ථා, දෙපාර්තමේන්තු ඇතුළු සියලූම ආයතනවල ගිණුම් රාජ්‍ය බැංකුවල පවත්වාගෙන යනු ලබයි. මෙවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය බැංකු කාර්ය මණ්ඩල අකුරට වැඩ කිරීම, වැඩ වර්ජනය කිරීම ආදී ක්‍රියාමාර්ග වලට යොමු වීම නිසා පොදු මහජන සේවා පවත්වාගෙන යෑම විශාල ගැටලුකාරී තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව අද පැවති විශේෂ කැබිනට් හමුවකදී අමාත්‍යවරුන් විසින් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇත.


විශේෂයෙන්ම ඛනිජ තෙල් මිලදී ගැනීම, ගෑස් මිල දී ගැනීම, ඖෂධ මිලදී ගැනීම වැනි ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නියමිත වේලාවට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ජන ජීවිත ඉතාමත් ව්‍යසනකාරී තත්ත්වයකට පත්වනු ඇත .


මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මින් ඉදිරියට රාජ්‍ය ආයතන වල ගිණුම් හදිසි අවශ්‍යතාවයකදී කටයුතු කළ හැකි පරිදි පුද්ගලික බැංකුවල ද විවෘත කර පවත්වාගෙන යෑමේ අවස්ථාව ලබාදිය යුතු බවට අමාත්‍යවරුන් විසින් යෝජනා කර තිබේ.


එහිදී මුදල් අමාත්‍යංශය පූර්ව අනුමැතියක් සහිතව මෙම කටයුත්තට අනුමැතිය ලබා දිය යුතු බවට අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.