Thursday, October 24, 2024
Follow Us
පෙබරවාරී උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 51.7හි සිට 2023 පෙබරවාරි මාසයේ දී සියයට 50.6 දක්වා පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේ දී අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජනවාරි මාසයේ පැවති සියයට 60.0හි සිට 2023 පෙබරවාරි මාසයේ දී සියයට 54.4 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජනවාරි මාසයේ පැවති සියයට 47.9හි සිට 2023 පෙබරවාරි මාසයේ දී සියයට 48.8 දක්වා ඉහළ ගියේය. 2023 පෙබරවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට 0.47ක් ලෙස වාර්තා වී ඇත.

මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි මාසිකව ඉහළ යෑම වන අතර, එම දායකත්වය සියයට 1.20ක් විය. කෙසේ වුවද, 2023 පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් මාසිකව සියයට 0.74කින් පහළ ගියේය. ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 ජනවාරි මාසයේ පැවති සියයට 45.6හි සිට 2023 පෙබරවාරි මාසයේ දී සියයට 43.6 දක්වා පහළ ගියේය.