Thursday, October 24, 2024
Follow Us
කෝපා කමිටුවේ නව සභාපති තේරී පත්වෙයි

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) නව සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතා වැඩි ඡන්දයෙන් තේරි පත්විය. ඒ මහතා තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ (24) පැවති අවස්ථවේදීය.

එහිදි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ නම ප්‍රසන්න රණවීර මහතා විසින් යෝජනා කළ අතර (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා විසින් ස්ථිර කරන ලදී.

එසේම, කෝපා කමිටුවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් ස්ථිර කරන ලදී. එහිදී පැවති ඡන්ද විමසීමේදී ලසන්ත අලගියවන්න මහතාට පක්ෂව ඡන්ද 14 ක් ලැබුණු අතර කබීර් හෂීම් මහතාට පක්ෂව ඡන්ද 07 ක් ලැබිණි.

2004 සිට කාරක සභා ගණනාවක් නියෝජනය කිරීමෙන් විශාල අත්දැකීම් ප්‍රමාණයක් තමා ලබා ඇති බවත්, මෙම කාරක සභාව තුළදී පක්ෂ භේද නොසලකා ස්වාධීනව රට වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් ඉටුකිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා කමිටු සාමාජිකයන් සියළුදෙනාගේම සහය අපේක්ෂා කරන බවත් මෙහිදී අදහස් දක්වමින් නව සභාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු ඉතිහාසයේ පැරණිතම කාරක සභාව ලෙස 2023 ඔක්තොබර් මාසය වන විට වසර 100ක් සපුරණ බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රටේ මූල්‍ය පාලනය හිමි පාර්ලිමේන්තුව විසින් අයවැය සම්මත කිරීමෙන් අනතුරුව සිදුවන ක්‍රියාවලිය පිළිබඳ පාර්ලිමේන්තුව වෙනුවෙන් එහි අධීක්ෂණය සිදු කරනු ලබන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් වන බැවින් පාර්ලිමේන්තු සභා ගර්භයට ඇති වගකීමට සමාන වගකීමක් මෙම කාරක සභාවටද පවතින බව අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.