Thursday, October 24, 2024
Follow Us
සුළු පරිමාණ රබර් වැවිලිකරුවන් 6,000ක් සංවර්ධනය ඇරඹේ

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ප්‍රංශ රජයේ, මිචෙලින් ව්‍යාපාර සමුහයේ සහ මිචෙලින් ලංකා සමාගමේ සහයෝගීතාවයෙන් යුතුව River (The Rubber Improvement of Value Chain & Embedded Small holders Resilience ) ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ විය.

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ ප්‍රංශ තානාපති ෂෝන්-ෆ්‍රංසුවා පැක්තෙ ( Jean - Francois Pactet) මහතාගේ සහභාගිත්වයෙන් මෙය ආරම්භ කෙරිණි .

මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල සුළු පරිමාණ රබර් වැවිලිකරුවන් 6,000කගේ ආර්ථික සංවර්ධනය ඉලක්ක කොට ගෙන දියත් කෙරෙන මෙම River ව්‍යාපෘතිය අවුරුදු 3ක් පුරා
ක්‍රියායාත්මක කිරීමට නියමිතයි. එහිදී හරිත නවෝත්පාදනයන් දියුණු කිරීම වෙනුවෙන් යුරෝ 565,000ක මූල්‍ය ප්‍රතිපාදන ව්‍යාපෘතිය තුළ වෙන් කෙරෙන අතර සම්පූර්ණ ආයෝජනය යුරෝ මිලියනයක් වේ. එම මූල්‍ය ප්‍රදානයන් ප්‍රංශයේ ආර්ථික සහ මුල්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වයක් ලෙසින් ආයෝජනය කිරීම සිදුකරයි.

මෙම ව්‍යාපෘතිය සදහා මිචෙලින් සමුහයේ මුල්‍ය සහයෝගය ද හිමි වන අතර එහි මෙහෙයුම් කටයුතු එම සමුහයේ දේශීය අනුබද්ධිත ආයතනය වන මිචෙලින් ලංකා සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සහ ප්‍රංශ තානාපති කාර්යාලයේ මෙහෙය වීම සහිතව Ksapa සමාගම විසින් මෙම ව්‍යාපෘතියේ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉටු කරනු ලබයි.
රබර් හා අනෙකුත් විවිධාංගීකරණය කරන ලද බෝග වගා කිරීම, ක්ලෝන තෝරා ගැනීම, රබර් කිරි එකතු කිරීම, පොහොර යෙදීම, රසායනික භාවිතය සම්බන්ධයෙන් පුහුණුව ලබාදීම සහ ව්‍යවසායකත්වය , මානව සම්පත් කළමනාකරණය, නායකත්වය වැනි කුසලතා ගොඩනැංවීම සහ වගකීම් සහගත කම්කරු කළමනාකරණ පිළිවෙත් ආදිය ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය ඔස්සේ සිදුවේ.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ අවශ්‍යතාවලට අනුකූල වන පරිදි ස්වභාවික සුළු පරිමාණ රබර් වගාකරුවන් 6000කගේ සමාජ වගකීම් මෙන්ම පාරිසරික වශයෙන් හිතකර භාවිතයන් අනුගමනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරෙන අතර ව්‍යාපෘතිය මගින් ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් 30,000 කට පමණ ප්‍රතිලාභ උදා කරදීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම එම රබර් වගාකරුවන් 6,000ගේ පවුල් ආශ්‍රිත ආදායම් මාර්ග හා නිපුණතා වැඩි දියුණු කරමින් ඔවුන් වෙත අමතර ආර්ථික ප්‍රතිලාභ උදා කිරීමද මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.
එයට අමතරව Ksapa සමාගම විසින් සංවර්ධනය කරනු ලැබෙන SUTTI නමැති ජංගම දුරකතන යෙදවුමක් ද මීට සමගාමීව හදුන්වා දීම සිදු කරන අතර කෘෂිකාර්මික දැනුම බෙදාහදා ගැනීම, නිෂ්පාදනය නිසි පරිදි මිනුම්ගත කිරීමට උපකාර ලබා දීම, ආදායම් කාර්ය සාධනය විශ්ලේෂණය කිරීම සහ ව්‍යාපෘතියේ බලපෑම ඇගයීමට ලක් කිරීම ආදිය මානයන් එම යෙදවුම මගින් ඉටු කරගැනීමට අපේක්ෂා කෙරේ.