Thursday, October 24, 2024
Follow Us
කෝප් කමිටුවේ නව සභාපතිවරයා  වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් නැවත තේරි පත්විය. ඒ මහතා තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ  (23) පැවති අවස්ථාවේදීය.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතාගේ නම රාජ්‍ය අමාත්‍ය  ජගත් පුෂ්ප කුමාර මහතා විසින්  යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ස්ථිර කරන ලදී.

එසේම කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින් බණ්ඩාර මහතා විසින් යෝජනා කරන ලද අතර රවුෆ් හකීම් මහතා විසින් ස්ථිර කරන ලදී. එහිදී පැවති ඡන්ද විමසීමේදී  මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතාට පක්ෂව ඡන්ද 17 ක් ලැබුණු අතර  එරාන් වික්‍රමරත්න මහතාට පක්ෂව ඡන්ද 06 ක් හිමිවිය.

කමිටුව අමතමින් නව කෝප් සභාපතිවරයා කියා සිටියේ කමිටුවේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා සියලූ සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට පෙර කාරක සභාවේ පැවති කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බවට කාරක සභාවේ සාමාජිකයින්ගේ එකඟතාව පළවූ බවත් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. තවද, කෝප් නිර්දේශවලට නීත්‍යනුකූල බවක් ලබා දීම සම්බන්ධයෙන් කථානායකවරයා සහ නීතිපතිවරයා සමග සාකච්ඡාවක් සංවිධානය කරන ලෙසට ද  කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.