Thursday, October 24, 2024
Follow Us
බඩඉරිඟුවලට ඉහළ මිලක්

ප්‍රමිතියෙන් උසස් බඩඉරිඟු කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 160 ක මිලක් ගෙවීමට සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාවය පළ කර තිබේ.

ඒ මෙවර මහ කන්නයේ දී මෙරට ගොවීන් වගාකර ඇති බඩඉරිඟු මිලදී ගැනීම සම්බන්ධව ඊයේ (22) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ සමඟ පැවති සාකච්ජාවක දී.

2022/23 මහ කන්නය ආරම්භ වීමට පෙර එම කර්මාන්තකරුවන් සමඟ පැවති සාකච්ජාවක දී මෙරට ගොවීන් බඩඉරිඟු වගා කිරීම සඳහා උනන්දු කිරීම සඳහා බඩඉරිඟු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 160ක මිලකට මිලදී ගැනීමට එම කර්මාන්තකරුවන් පොරොන්දු වී වූහ.


නමුත් මේ වන විට බඩඉරිඟු අස්වනු නෙලීම ආරම්භ වී ඇතත්, තවමත් නිසි මිලක් නොලැබෙන බවට ගොවීහු ප්‍රකාශ කරති.


මෙම කාරණය සැලකිල්ලට ගනිමින් මෙරට වගා කර ඇති බඩඉරිඟු සඳහා ගොවීන්ට හොඳ මිලක් ලබා දීමටත්, ඔවුන් බඩඉරිඟු වගාව සඳහා දිරිගැන්වීමටත් ඔවුන්ගේ නිෂ්පාදනවලට ඉහළ මිලක් ලබා දියයුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී අවධාරණය කළේය.


මෙවර මහ කන්නයේ දී හෙක්ටෙයාර් 65,000ක බඩඉරිඟු වගාකර තිබෙන අතර, ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 135,000 කි. එමෙන්ම 2023 යල සහ මහ කන්න දෙකේ දී හෙක්ටෙයාර් 130,000ක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 03කි. අපේ රටේ වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 05කට ආසන්නය.