Thursday, October 24, 2024
Follow Us
භාණ්ඩාගාර ලේකම්ට ලැබුණු බලය

අනුමත ණය ගැනීමේ සීමාව තුළ අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට භාණ්ඩාගාරයේ ලේකම්ට බලය පැවරීමට කැබිනට් මණ්ලය තීරණය කර තිබේ.

2022 අංක 43 දරන විසර්ජන පනත මඟින් 2023 වර්ෂය සඳහා රුපියල් බිලියන 4,979ක දළ ණය ලබා ගැනීමේ සීමාවක් සඳහා බලය ලබා දී ඇත. ඒ අනුව, එම සීමාව මෙම වර්ෂය තුළ ණය ආපසු ගෙවීම්, පොලී ගෙවීම් හා සංවර්ධන ව්‍යාපෘති මූල්‍යනය සඳහා භාවිත කළ යුතුව තිබේ. රුපියල් බිලියන 4,979ක් වන එකී මුළු දළ ණය ලබා ගැනීම් දේශීය හා විදේශීය මූලාශ්‍ර මඟින් සලසා ගනු ලබන අතර දේශීය මූලාශ්‍ර මඟින් රුපියල් බිලියන 3,526ක් සහ විදේශීය මූලාශ්‍ර තුළින් රුපියල් බිලියන 1,453ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. දේශීය මූලාශ්‍ර යටතේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, විදේශ ව්‍යවහාර බැංකු ඒකක ණය සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මඟින් අවශ්‍ය ණය මුදල් සපයා ගනු ලබයි.

2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය සේවා කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්තියට අනුගත වෙමින්, 2023 වර්ෂයේ මුල් මාස 06 තුළ විදේශීය මුදලින් සිදු කළ යුතු මුළු ණය සේවා ගෙවීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 2,609ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත.

ඉන් ඩොලර් මිලියන 2,069ක් විදේශ ණය වාරික ආපසු ගෙවීමටද, ඇමෙරිකානු ඩොලර් මිලියන 540ක් පොළිය ගෙවීම් සඳහාද වේ. එලෙස විදේශ මුදලින් කළ යුතු ණය සේවා ගෙවීම් තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 709ක ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ණය සහ ඒ සඳහා පොළිය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 46ක්ද ඇතුළත්ව තිබේ.