Thursday, October 24, 2024
Follow Us
විශේෂ කාරක සභාවක් රැස් වෙයි

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ දී කොළඹ වරාය නගරය, ආර්ථික කොමිෂන් සභාවේ දායකත්වය සහ ඉදිරි සැලසුම්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම ආදිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී සාකච්ඡා වී තිබේ.


මෙම විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මධුර විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇත.
මෙම විශේෂ කාරක සභාව සඳහා ශ්‍රී ලංකා වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, මුදල් අමාත්‍යාංශය, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරන ක්ෂේත්‍ර ගණනාවක නිලධාරීහු සම්බන්ධ වූහ.
මෙහි දී කොළඹ වරාය නගරය ආශ්‍රිතව සිදුකරන ආයෝජන වලට අවශ්‍ය වන නීතිමය අංශයෙන් වන බේරුම්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර මේ සඳහා විශේෂ ආරාධිතයෙක් ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති තීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ද සම්බන්ධ විය.
මෙහිදී අමාත්‍යවරයා සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ බේරුම්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳ වර්තමාන තත්ත්වය සහ එය ඉක්මනින් අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
මෙම කාරක සභාව සඳහා අමාත්‍ය නසීර් අහමඩ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මොහොමඩ් මුසම්මිල් සහ ලලිත් වර්ණකුමාර යන මහත්වරු සහභාගී වූහ.