Thursday, October 24, 2024
Follow Us
වී මිල දී ගැනීම සඳහා සුවිශේෂී චක්‍රලේඛයක්

2023 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ ගොවීන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන සහ වැරැදි අවම වන පරිදි සකස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹාලපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මුදල් උපරිම ආරක්ෂා වන පිරිදි මෙවර වී මිල දී ගැනීමේ වැඩසටහන සිදු කිරීම  රජයේ අපේක්ෂාව බවයි.රුවන්වැල්ලේ අද (13) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය -  

“2023 මහ කන්නයේ දී අපි හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රජය උත්සහ කරන්නේ රුපියල් 100ක මිලකට වී කිලෝග්‍රෑම් එකක් මිල දී ගන්න. මොකද අපේ රටේ ඉන්න වී ගොවීන්ගෙන් 90%ක්ම යැපුම් මට්ටමේ සිටින්නේ. කන්න කැපූ සැණින් ඔවුන්ට මුදල් අවශ්‍ය වෙනවා. රජය මැදිහත් වුණේ නැත්තම් ඔවුන්ට සිද්ධවෙන්නෙ නිෂ්පාදන වියදමටත් අඩුවෙන් වී විකුණන්නයි. ඒ නිසා එක පැත්තකින් රජයේ ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට උරදෙනවා. අනිත් පැත්තෙන් රටේ පවුල්වලින් ලක්ෂ 39ක් ජීවත් වෙන්නෙ රජයෙන් උපකාර බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි රජය මාර්තු සහ අප්‍රේල් මාසවල ඔවුන් වෙත හාල් කිලෝ 10 බැගින් නොමිලේ ලබා දෙන්න තීරණ කරල තියෙනවා. මේ කරුණු දෙක සඳහා ම මෙම වී මිල දී ගැනීමේ කටයුත්ත දෙආකාරයකින් වැදගත්.

අපි දැකල තියෙනව මෙවැනි වැඩසටහන්වල යම් යම් අඩුපාඩුකම් මීට පෙර තිබුණ. ඉතින් ඒ සියලු අත්දැකීම් පාදක කරගෙන මෙවර මහා භාණ්ඩාරගාරය නිකුත් කළ චක්‍රලේකය පිටු හයකින් සමන්විතයි. පෙර සිදු වූ වැරැදිවලටත් මෙතන උත්තර ලබා දීල තියෙනවා. ඒ නිසා රාජ්‍ය මුදල් උපරිම ආරක්ෂා වන පරිදි මේ යහපත් කාරණාව සිදු කරනවා. ඒ වගේම රජයට බදු ගෙවන පාර්ශ්වයන්ට සතුටු වෙන්න පුළුවන් තමන් ගෙවන බදු මුදල්වලින් මේ වගේ සුවිශේෂී කාරණාවකට මැදිහත් වෙනව කියල.”