Thursday, October 24, 2024
Follow Us
ජනවාරි ආදායමට වඩා 350%ක වියදමක් - මුදල් රාජ්‍ය ඇමැති 

අර්බුදකාරී මොහොතේ සියලු දෙනා ම අඩු වැඩි වශයෙන් ආර්ථික පීඩනය දරා ගත යුතු බවත්, කල්පනාකාරීව වගකීමෙන් කටයුතු කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

 

අමාත්‍යවරයා සඳහන් කරන්නේ උපයන විට බද්ද මගින් බදු ලබා ගන්නේ මෙරට ශ්‍රම බලකායෙන් 2.6%ක පිරිසකගෙන් පමණක් බවයි. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ දෙදින විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා  පසුගියදා පාර්ලිමේන්තුවේ දී මේ බව පැවැසීය.

අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය -  

මෙරට ශ්‍රම බලකාය 4,645,572කි. ඉන් 48%ක් හෙවත් 2,231,620ක් ලබා ගන්නේ රුපියල් 30,000කට අඩු මාසික වැටුපකි. ශ්‍රම බලකායෙන් රුපියල් ලක්ෂයට වඩා ඉහළ ආදායමක් ලබා ගන්නේ, එසේත් නැතිනම් උපයන විට බද්දට යටත් වන්නේ පුද්ගලයන් 120,925ක් හෙවත් 2.6%කි. 

2023 වසරේ දී රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3,615කි. වියදම රුපියල් 5,419කි. ජනවාරි මස ආදායම් සහ වියදම අතර වෙනස 350%කි. තත්ත්වය එසේ වුව ද මුදල් මුද්‍රණය කළ නොහැකිය, විදේශ ණය ලබා ගත නොහැකි ය. දේශීය බැංකුවලින් ලබා ගත හැකි ණය උපරිම සීමාවට පැමිණ ඇත. සොරකම් කළ මුදල් යළි ලබා ගැනීම වැනි දෑ මේ පවතින අර්බුදයට පිළිතුරු නොවේ.

සියල්ල මෙසේ පවතිද්දී රටේ ලක්ෂ 58ක් වූ පවුල් සංඛ්‍යාවෙන් පවුල් 3,911,757ක් ජීවත් වන්නට රජයෙන් ආධාර අපේක්ෂා කරයි. මේ අවස්ථාවේ දී අපි සියලු දෙනා ඉදිරියේ අඩු වැඩි වශයෙන් වගකීම් පැවරී තිබේ. අඩු වැඩි වශයෙන් පීඩනය දරා ගත යුතු ව ඇත. වගකීමෙන් කල්පනා කළ යුතු කාලය එළඹ තිබේ.