Thursday, October 24, 2024
Follow Us
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ මහජන අදහස් දැක්වීමට අවස්ථාවක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේ දෙවැනි වාර්තාව පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, තරුණ නියෝජිතයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේදී සිදුව තිබේ.

මෙම දැනුවත් කිරීම සිදු වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.


මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැමිණ සිටි විවිධ පාර්ශ්ව සඳහා මෙම වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳ සඳහන් කිරීම සිදු විය. එසේම මෙම වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳව සහ වෙනත් යම් දෙයක් පිළිබඳ කමිටුව දැනුවත් කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා සිදු කරන ලෙසත් දැනුවත් කළේය.


එසේම මෙම වාර්තාව සකස්කිරීම සඳහා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන ප්‍රවීණයන්ගේ අදහස් ලබාගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය. එසේම පැමිණ සිටි පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් පිළිබඳ විමසා බැලීම ද මෙහිදී සිදුවූ අතර ඒ අනුව අඩු ආදායම්ලාභීන් නගාසිටුවීම, සමෘද්ධි සහනාධාරය ක්‍රමවත්ව ලබාදීම, දුෂ්කර පාසැල්වල දරුවන්ට නොමිලේ ආහාර ලබාදීම, පාසැල් උපකරණ මිල ගණන් ඉහළ යෑම, දැව ආශ්‍රිත නිෂ්පාදන සංවර්ධනය කිරීම, ගුවන් ක්ෂේත්‍රය සහ ධීවර කර්මාන්තය ආදී අංශ ගණනාවක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.


තවද ආර්ථික ස්ථායීකරණ අනු කාරක සභාවේ දෙවැනි වාර්තාවට අදාළව මහජන අදහස් දැක්වීම පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට පිවිස සිදු කරන ලෙස ද මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් මහජනතාවට ආරාධනා කිරීම ද සිදු විය.