Thursday, October 24, 2024
Follow Us
ආනයන අත්හිටවූ දා සිට ඩොලර් මිලියන 2,500ක ඉතිරියක්

ආනයන අත්හිටවූ දින සිට මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියන 2,500ක මුදලක් ඉතිරි කිරීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිගයකින් තොරව ආනයනය කිරීම සිදු වන්නේ මෙම පියවර හේතුවෙන් බවයි. ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් අද (26) රේගු මූලස්ථානයේ පැවැති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

2022 තරම් ආර්ථික වශයෙන් අසීරු වසරක් ­මෙරට ඇති නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා එහි දී කියා සිටියේ ය. එහෙත් ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද මැද ගෙවී ගිය 2022 වසරේ ඇති වූ පීඩාවන් අමතක වූ ආකාරයෙන් ඇතැමුන් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

“නිදහස ලැබූ දා ඉඳල මෙතෙක් අපි ගත කරපු අසීරුතම වර්ෂය 2022 කියල කිවුවොත් නිවැරැදියි. ආර්ථික අර්බුදයක්, ඒ ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කළ දේශපාලන අර්බුදයකට අපි මුහුණ දුන්න. එවැනි අර්බුද මැද වුව ද සිය ආදායම් ඉලක්ක වෙන ළගා වූ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපි ස්තුති වන්ත විය යුතු යි. අපට ආනයන සීමා කරන්න බදු පැනවීම වගේ වෙනත් ක්‍රම තියෙනවා. නමුත් අපි ගන්න තියෙන අසීරුම තීරණය අරගෙන භාණ්ඩ 1465ක් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කළා. අවස්ථා කිහිපයක දී අපි ඒ සීමාවන් ඉවත් කළා. තවත් භාණ්ඩ 685ක් ආනයනය නවත්වල තියෙනවා. ඒ ආනයනයන් අත්හිටුවීම නිසා මේ දක්වා ඩොලර් මිලියන 2500ක් රටට ඉතිරි කරල තියෙනවා. අපට හදා ගන්න පුළුවන් සරුංගල්, වෙසක් කූඩු, දැහැටි කූරු විතරක් නෙවෙයි නුවරඑළියෙ හැදෙන රෝසමල් පවා අපි ආනයන කළා. ඒ සියල්ල නවත්තවල තමයි අපි මේ මුදල ඉතිරි  කර ගත්තෙ. පොහොර ටික ගේන්නෙ ඩොලර් මිලියන 50ක් 60ක්, බෙහෙත් ටික ගේන්නෙ 800ක්, තෙල්වලට ඩොලර් මිලියන 3000ක් විතර යනවා. පෝලිම් යුගය අමතක වෙලා අද ගොඩක් දෙනාට. අපි තාම එතනමයි ඉන්නෙ. ඒ ඉතිහාසය අමතක කරල අපට ඉදිරියට යන්න බෑ.” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.