Thursday, October 24, 2024
Follow Us
IMF නියෝජිතයින් මුදල් රාජ්‍ය ඇමැති අතර විශේෂ සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය අතර විශේෂ සාකච්ඡාවක් අද (26)  මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

එම සාකච්ඡා සාර්ථක වූ බවයි  රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙය  පැවැත්ණි.

ඒ අනුව ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකමේ මුල් වාරිකය නුදුරේදී ම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

 මෙම සාකච්ඡාවේ දී රාජ්‍ය ආදායම සහ ජනතාව මුහුණදී සිටින අසීරුතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

 එමෙන්ම ණය වාරික ලබාගැනීම සම්බන්ධයෙන් තාක්ෂණික කාරණා පිළිබඳ සාර්ථක සාකච්ඡාවක් ද මෙහිදී සිදුවී ඇත. 

 එහි ප්‍රතිඵල මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට හිමි වනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය විපුල වික්‍රමආරච්චි යන මහත්වරු ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.