බ්‍රැන්ඩික්ස් සමාගම මෙරට ආර්ථිකයට ලබා දුන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන් යළිත් වරක් ‘වසරේ අපනයනකරු’ ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගිය දා සමත් විය. 23වැනි වරට පැවැති මේ සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සියලුම අපනයන කාණ්ඩ අතරින් ජාතික ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබා දුන් සමාගම බවට පත්වීම නිසා බ්‍රැන්ඩික්ස් වෙත මේ සම්මානය හිමි විය. මීට අමතරව ‘ගෝලීය වශයෙන් ක්‍රියාකාරී උපරිම විදේශ විනිමය ඉපැයුම්කරු’, ‘ශුද්ධ විදේශ විනිමය ඉපැයුම්කරු’, ‘අපනයන ක්ෂේත්‍රයේ රැකියා උත්පාදක’, අපනයන සැපයුම් දාමයට ප්‍රාදේශීය මට්ටමින් ඉහළම දායකත්වයක් ලබාදෙන සමාගම’ සහ ‘ඇඟලුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම අපනයනකරු’ ලෙස ද සම්මාන හිමි කර ගැනීමට බ්‍රැන්ඩික්ස් සමත් විය.
‘අපනයන සංවර්ධන මණ්ඩලය මගින් බ්‍රැන්ඩික්ස් වෙත පිරිනැමූ මේ සම්මාන අපට විශාල ගෞරවයක්. එමෙන්ම ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරමින් බ්‍රැන්ඩික්ස් සමගම මේ තත්ත්වයට රැගෙන ඒම සඳහා අඩිතාලම දැමූ මාටින් ට්‍රස්ට් මහතා මේ මොහොතේ දී ගෞරවයෙන් සිහිපත් කළ යුතු වනවා.” බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඔමාර් මහතා පැවැසීය.
(Dinamina)