Saturday, November 02, 2024
Follow Us
ඇතැම් බැංකු වසංගතයෙන් අසරණ වූ ව්‍යාපාරිකයන්ගේ දේපොළ වෙන්දේසි කරන්න යනවා

කොවිඩ් වසංගත ​තත්ත්වයත් සමග ව්‍යාපාරිකයන් අසරණව සිටියදී ඔවුන් බැංකු ණය වෙනුවෙන් ඇපයට තිබූ දේපොළ ඇතැම් බැංකු මගින් වෙන්දේසි කිරීමට පියවර ගැනීම බලවත් අසාධාරණයක් බව ව්‍යාපාරික එකතුවකින් සැදුම්ලත් සිටුවර ජයබල සංවිධානායේ ජාතික සංවිධායක සිසිර වික්‍රමසේකර මහතා පවසයි.

මෙම ගැටලුව සඳහා ජනපතිගේ හෝ අගමැතිගේ මූලිකත්වයෙන් බැංකු ප්‍රධානීන් හා ව්‍යාපරිකයන් අතර සාකච්ඡාවක් පවත්වෙන්නේ නම් එය අගය කරන බවද ඒ මහතා කියයි.

මහනුවර යටිනුවර වීදියේ පැවැති මාධ්‍ය හමුවකදී වික්‍රමසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ව්‍යාපාරිකයන් බැංකු ණය වාරික ගෙවීමට නොහැකිව අසරණව සිටිනවා. එහෙත් බැංකු හා මූල්‍ය ආයතන දිගින් දිගටම ඔවුන් පීඩාවට පත් කරමින් හිඟ වාරික ඉල්ලා සිටින බවත් මේ නිසා අද ඇතැම් ව්‍යාපාරිකයන්ට තමන් දුක් මහන්සියෙන් ගොඩ නගා ගත් දේපොළ වත්කම් පවා අහිමිව යාමේ අවදානමක් මතුව තිබෙන බවත් හෙතෙම කියයි. පාස්කු ප්‍රහාරයෙන් පසු තම ව්‍යාපාර පවත්වාගෙන යෑමේ අර්බුදයකට මුහුණ දුන් ව්‍යාපාරිකයන් කොවිඩ් අර්බුදයත් සමග කබලෙන් ළිපට වැටී ඇති බවත් රජය කොතෙක් සහන ලබාදීමට උනන්දු වුවත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මූල්‍ය සමාගම් මෙය තේරුම් නොගැනීම කනගාටුවට කරුණක් බවත් ඔහු කියා සිටී. මෙහිදී අදහස් දැක්වූ සිටුවර ජයබල සංවිධානයේ මහනුවර ක්‍රියාකාරී සාමාජික රංජිත් සමරක්කොඩි මහතා බැංකු සමග වසර 15ක පමණ කාලයක් හොඳින් ගනුදෙනු කළ ව්‍යාපාරිකයන් පසුගිය මාස තුන හතරක කාලයේදී ණය වාරික ගෙවීමට නොහැකිව අසරණ වූයේ කළමනාකරණයේ වරදකින් නොව ලෝක වසංගත තත්ත්වයේ බලපෑම නිසා බව කියා සිටියේය.

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා යනු මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බව ජනපතිතුමන් ප්‍රකාශ කළ බවත් අද ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබෙන්නේත් හෙතෙම කියයි.

පොලී අනුපාත අඩු කර ණය වාරික ගෙවීමට සාධාරණ කාලයක් ලබාදෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින මහතා කීය,

කොවිඩ් නිසා ව්‍යාපාරිකයන් ලබන පාඩුවෙන් කොටසක් රජය සහ බැංකු විසින්ද දරාගත යුතු බවත් මෙම පාඩුව පාර්ශ්ව තුන අතර බෙදී ගියහොත් ව්‍යාපාරිකයන්ට යම් සහනයක් ලැබෙනු ඇති බවත් යෝජනා කර සිටී. මෙහිදී සිටුවර ජයබල සංවිධානයේ බදුල්ල සංවිධායක සරත් කරුණාදාස, නිශාන්ති මංතිලක ඇතුළු මහත්ම මහත්මීහුද අදහස් දැක්වූහ.

(Aruna)